හෝටලෙන් වෙලා ගිහින් 10.10ට පිටත්වුනේ අද යන්න තියෙන දුර අඩු නිසා - කිලෝමීටර් 15ක් විතර. ඔක්ස්ෆඩ් නගරය කිට්ටුව යන පාර නියමයි - වෙන එකක් තියා තැනින් තැන වාඩිවෙන්න පුටු එහෙමත් තියෙනවා. නමුත් අපි වාඩිවෙන්න තරම් ඒ වෙලාවේ මහන්සියක් නෑ. "ෆොලි" පාලම පහුකරාම ගඟ දිගට මාලු අල්ලන මිනිස්සු හිටියා. හැම මිනිහම එන්නේ හොදටම ලෑස්තිවෙලා; ආම්පන්න ගොඩකුයි, ඒවා පටවන්න කරත්තෙකුයි, පුටුවකුයි... සේරම වටේට ගොඩගහලා. තල්මහෙක්වත් අල්ලන්න වෙයි මේ තරම් මහන්සිවෙලා.
ගඟේ බෝට්ටුවලින් අඩුවක් නෑ. සමහරු නවත්තපු බෝට්ටුවල ඉඳන් මාලු අල්ලනවා. සමහරු මාස ගනනක් එකතැන ඉන්නවලු.
ඇවිදින පාර තැනින් තැනට වෙනස් - මීට ඉස්සර දවස් වල වගේම. සමහරතැන්වල ආරුක්කු වගේ ගස් නැමිලා ගිහින්; අනික් තැන්වල පොඩි අඩිපාරක් විතරයි. ලස්සන ගෙඩි ජාති තියෙනවා දිගටම වගේ.
දවල්ට කෝපි එකක් බිව්වේ සැන්ඩ්ෆඩ් "බෝට්ටු ඉනිමග" (Lock) ලඟ තියෙන කිංස් ආම්ස් පබ් කෙන්. එතෙන්දී ආයෙත් ලොක් එක වැඩකරනවා දැක්කා - වතුර ලෙවල් දෙක මීටර් දෙකක් විතර ඇති මං හිතන්නේ.
කරදරයක් නැතුව ඇබිංඩන් ටවුමට ආවා. 1605 හදපු ක්රවුන් ඇන්ඩ් තිස්ල් හෝටලේ ඉන්නේ. ලස්සන ටවුම - පාලමයි හෝටලෙයි මේ වගේ.
එකක් අද ගමනගැන - එක හරකෙක්වත් බැටළුවෙක්වත් දැක්කෙ නෑ. තිරිඟු එහෙමත් නෑ පෙනෙන්න. දැනට වල් සත්තු දැක්කේ ලේන්නු පස් දෙනයි මැරිච්ච හාවෝ දෙන්නයි!
හෙට උදේ ආයෙත් ගමනට...
ජයවේවා!
No comments:
Post a Comment