Wednesday, 19 September 2018

දවස 14

වෙනදට වඩා ටිකක් වෙනස් දවසක් - නවතින නගරෙන් නෙවෙයි ගමන පටන් ගත්තේ. ඊයේ ගමන ඉවරවුනේ 'ඩෝනි කෝට්''කියන තැනින්; ඔලිම්පික් බෝට්ටු තරඟ තිබුන ඊටන් කොලෙජ් වැව ලඟ. ඒ හරියේ නවතින තැන් නැතිනිසා ටැක්සියකින් වින්ඩ්සර් ආවා. අද උදේ ඒ ටැක්සියම අපි ආපහු ඩෝනි කෝට් ගිහින් දැම්මා වින්ඩ්සර් වලට පයින් එන්න (ටිකක් ගොං වගේ නේද?). නමුත් අද ගමන කොටයි - කි. මී. දහයට ටිකක් අඩුයි; එක වෙනකොට ආපහු හෝටලේ! ඒකයි අද වෙනදට කලින් බ්ලොග් ලියන්නේ - කොට බ්ලොග් එකක්.

එන පාර තවම ගඟ අයිනේ; එන්න එන්න ගොඩනැගිලි වැඩිවුනාට පොඩි කැලෑ රොදවල් වලින් අඩුවක් නෑ. සමහර තැන්වල ඉත්ත වැල් (ivy) වලින් වැහුන ගස් එහෙම තියෙනවා.






ගඟෙත් කියන්න වෙනසක් නෑ - වතුර වැඩියි - බෝට්ටු එහෙම වැඩියි (නමුත් සතියේ මැද දවසක් නිසා සෙනග අඩුයි)...




වින්ඩ්සර් නගරෙට ඇතුල් වෙනකොට ඈතටම පෙනෙනවා වින්ඩ්සර් මාළිගාව. ඒකේ කොඩිය උස්සලා තියෙනවා කියන්නේ එංගලන්තේ එලිසබත් මහරැජින අද ඉන්නවා (අපිට රෑ කෑමට කතා කරන එකක් නෑ හැබැයි). උන්දැගෙ නෑදෑයෙක් (ඉයුජිනී කුමරිය - ඇන්ඩෘ කුමාරයගෙ දුව) එනමාසේ මේ මාළිගාවේ කසාද බඳිනවා. අපිට කියලා නැතිනිසා අපි ඉන්නෙ නෑ!



හෙට ඇවිදින්නෙ නෑ - වින්ඩ්සර් එහෙමෙහෙ ටිකක් ඇවිදින එකයි කකුල්වලට පොඩි නිවාඩුවක් දෙන එකයි ප්ලෑන. බොලොග් එක මේකටත් වඩා කොටවෙයි!

ජයවේවා!

No comments:

Post a Comment