දවස 2
[අද ගැන කියන්න ඉස්සර මම ඊයේ සිද්දවුන පුදුමාකාර දෙයක් ගැන කියන්න ඕන. ඊයෙ රෑ නැවතුන හෝටලේ කාමරේ වයිෆයි හරි නෑ - ඉන්ටනෙට් එනවා යනවා. මම සිංහල බ්ලොග් ලියනකොට කීප සැරයක් ඉන්ටනෙට් නැතිවුනා. මම ලැප්ටොප් එක වහලා ඒක ඇරගෙන හෝටලේ රිසෙප්ශන් එක ලඟ මේසයක් ලඟ වාඩිවුනා. ඉන්ටනෙට් ලැබුන ගමන් මම බාගෙට ලියපු බ්ලොග් කට ගියා. ඒක නෑ! ඒ වෙනුවට මම සිංහලෙන් ලියපුදේ ඉන්ග්‍රීසියෙන් තිබුනා. ගූගල් මහත්තයා පරිවර්තන කරන්න ගිහින්! හිනා යනවා එයාගෙ පරිවර්තනේ. මම ඒක කොපි කරලා තියාගන ආයෙ අළුතෙන් බ්ලොග් ලිව්වා. අර පරිවර්තන වුනේ ඇයි? කොහොමද? කාගෙන් අහලද? - තවම උත්තරයක් නෑ. මොලේ තියෙන කෙනෙක් මට මේක කියලා දෙනවද?]
ඊයේ නැවතුන හෝටලේ (පබ් එක) නියමයි - ටවුමත් ලස්සනයි, පරනයි.
අපි උදේ නමය හමාරට විතර පිටත්වුනේ තව කිලෝමීටර් 20ක් කරලා ලෙච්ලේඩ් කියන ගමට රෑවෙනකොට එන්න. අපෙ පාර දිගටම වගේ ගියේ තෙම්ස් ගඟ ලඟින්, ගොවි පොලවල් හරහා. අද දැක්ක ගඟේ වතුර තිබුනා - ඊයේ වගේ නෙවෙයි. වතුර හෙමින් ඇදිලා ගියේ පන් පඳුරු අතරින්. ගඟට නැමුනු ගස්, ඉඳලා හිටලා හිටපු හන්සයෝ නිසා හරිම ලස්සනයි.
හුඟක් වෙලාවට පාර පටුයි, වල් වැවිලා. ඊයෙයි අදයි දෙකේම මගෙ කකුලේ කහඹිලියා [stinging nettle] ගෑවුනා - මාරෙට කහනවා! [එන්ගලංතෙත් කහඹිලියා!].
දවල්ට මොනවත් කන්න පාරේ ඇති එකම ගමේ තියෙන එකම කඩේට (ඒකත් පබ් එකක්) යන්නයි අපි හිටියේ. ඒ ගම, කාසල් ඊටන්, ප්‍රසිද්ද එකම දෙයක් නිසා - ඒ රෙඩ් ලයන් කියන පබ් එක තෙම්ස් ඉවුරේ තියෙන පලවෙනි පබ් එක. එතෙන්ට එනකොට 11.45 - පබ් එක අරින්නේ 12.00ට. එතනින් පස්සේ ආයෙ ලෙච්ලේඩ් යනකන් (කිලෝමීටර් 12ක්) කන්න තැනක් නෑ. අපි දෙන්නයි, තව මගදී මුනගැහුන මිනිස්සු තුන්දෙනෙකුයි දොර අරිනකන් බලාගෙන හිටියා - ලජ්ජයි බේබද්දෝ වගේ දොර අරිනකන් ඉන්න එක - නමුත් බඩගින්න ඊට වඩා දරුනුයි!
එතනින් පිටත්වෙනකොට එකට කිට්ටුයි. ගඟ අද්දර පාරේ තව පැය දෙක හමාරකින් ලෙච්ලේඩ් ලඟට ආවා - අලි කෙලිය; එතනත් මාර පබ් එකක් (රිවර්සයිඩ් කියලා - නොයා බෑ).
අද නරක නෑ - හෙටත් එහෙම වෙයිද? ඇවිද්දේ කිලෝමීටර් 21.5 - පැය හතක් ගියා!
No comments:
Post a Comment