Friday, 28 September 2018

දවස 22 [ගමනේ අන්තිම දවස!]

අද තමා පටන් ගත්ත ගොන්පාට් එක ඉවර කරන්නේ. අපි දෙන්නා ඇවිදපු මුළු දුර කි .මී. 360.18 [සිතියමේ හැටියට ක්. මී. 312.7යි නමුත් අපිට පාරෙන් එහාට මෙහාට යන්න වුනා නැවතින තැන් වල හැටියටත් එක එක දේ බලන්න ඕනවූ නිසත්]. මොකවුනත් වැඩේ ඉවරයි! අපිට ජයවේවා!



අංතිම ඇවිදපු දවස (ඊයේ) ගැන ලියන්න වෙලාවක් තිබුනෙ නෑ - ගමන ඉවරවෙලා නවාතැනට එනකොට රෑ 8.30ට විතර නිසා. ඒකයි අද ලියන්නේ. ඊයේ නවාතැනෙන් පටන්ගත්තේ 9.15ට නමුත් ඊයේ ගමන ඉවරකරපු වොක්ස්හෝල් වලට කෝච්චියේ එනකොට 10.15වුනා.


වෙනදට වඩා ගමන වෙනස් - එකක් නගර මැදින් ඇවිදින එක, අනික ලන්ඩන්වල සංචාරකයෝ පිරිලා. තව එකක් මොනවගෙද පින්තූර එහෙම ගන්නේ නැත්තේ කියලා හිතාගන්න අමාරුයි. පලවෙනි පින්තූරේ ලැම්බත් පාලම හරහා වෙස්මින්ස්ටර් ඇබේ සහ පාර්ලිමේන්තුව - මේක නොගෙන බෑ!


කලුපාටට වහලා තියෙන්නේ බිග්බෙන් ඔර්ලෝසුවේ වැඩ වගයක් නිසා.

සවුත්වාක් පාලම අතරෙන් සාන්ත පෝල්ගෙ ආසන දෙව්මැදුර පේනවා. ඒවගේම ලන්ඊඩන් වල තියෙන අමුතු ගො\ඩනැගිලිත් පේනවා. පස්සේ ටවර් පාලම (ඒක අනික් ඒවත් එක්ක පටලවෙන්නෙ නෑ - අමුතු හැඩේ නිසා.



ගඟටම අල්ලලා හදපු තට්ටු ගෙවල් බොහොමයක් තියෙනවා - සමහර  පරන ඒවා ආයෙත් අලුත්වැඩියා වෙනවා.



දවසේ අව්ව හොඳටම සැරයි (ඇවිදින නිසත් එක්ක). පබ් දෙකක නැවතුනා පිපාසේ නිවාගන්න (මත්පැන් නෙවෙයි - ඇවිදීමයි මත්පැනුයි එකට බෑ!).



කටි සාක් කියන බ්‍රිතාන්‍ය නැව (1870 හදපු) දැන් සංචාරකයන්ට බලන්න තියෙනවා. ගඟේ අනික් පැත්තේ තියෙන කැනේරි වෝෆ් (Canary Wharf) ඉතා වැදගත් වාණිජ කේන්ද්‍රයක්. ඒ වගේම රුවල් ඔරු (sailing craft) හැමතැනම. අහසේ සුදුපාටට තියෙනේ අහස් යානා ගිය පාරවල්.




මේ මොනවා තිබුනත් ගඟේ හරි ගොඩබිම හරි අපෙ හිතේ තිබුනේ තෙම්ස් ගඟ හරහා බැඳලා තියෙන කුණාටු බාධකයයි (ගමන ඉවරවෙන තැන) - ඒකයි කකුලේ අමාරුයි!


ඒක ඈතින් දකිනකොට හරියට අම්මා අප්ප්ච්චී දකිනවා වගේ! ඒ නිසාම අපි දෙන්නා ඒක ඉස්සරහ ඉඳන් පින්තූරත් ගත්තා (කවදාවත් නැතුව!). මේක වැඩකරන හැටි බලන්න ඕනනම් මේ යූටියුබ් විඩියෝ එක බලන්න.



ගමන ඉවරයි - ලඟම පබ් එකෙන් එක වීදුරුව බැගින් ගත්තා ජොලියට!


තව පැය දෙකක් විතර ගියා කෝච්චි දෙකක් අල්ලලා පට්නි එන්න - එතනින් රෑට කාලා නවාතැනට එනකොට 8.30ට කිට්ටුයි.

සාරාංශය - කි. මී. 360යි; දවස් 22යි; පටන්ගන්නකොට වයස් 70යි 65යි - ඉවරවෙනකොට වයස් 80යි 75යි!

දැන් ලිව්වා ඇති. අපිටත්, කියෙව්ව අයට ජයවේවා!


Wednesday, 26 September 2018

දවස 21

අද ගමන වෙනස් - කි. මී. 13ක් කරන්න තිබුන එකේ 21ක් කරා. උනේ මෙහෙමයි. උදේ කියු වලින් පිටත්වුනේ 9.30ට. ඊලඟ නවතින තැන, පට්නි, එනකොට දොලහ වෙලත් නෑ. ඉතින් අපි හිතුවා තව ටිකක් ගියොත් ඊලඟ දවස් ලේසිවෙයි කියලා. අන්තිමට වොක්සෝල් පාලම ලඟටම ගියා - එතනින් කෝච්චියේ ආපහු පට්නි ආවා.

මේ අපි කියු හිටපු තැන.


පාරෙයි ගඟෙයි වෙනස්කම් ගොඩයි. මේ හරියේ ගඟේ උතුරෙත් (වම් ඉවුරේ) දකුනෙත් (දකුනු ඉවුරේ) තෙම්ස් පාර තියෙනවා. අපි ආවේ දකුනු ඉවුරේ. ඒකේ නියමෙට ගස් එහෙම හැදිලා තියෙනවා - ලොකු නගරයක් ලඟ කියලා හිතන්නත් බැරි තරමට. අනික් ඉවුරේ දිගටම ගොඩනැගිලි. හොඳ වෙලාවට අපි දකුනු ඉවුරේ ආවේ.





දිගටම වගේ බෝට්ටු පදින අය ඉන්නවා. නමුත් වතුර අඩුයි බාදිය වෙලාව නිසා. මඩ ඉවුරු දිගටම පෙනෙනවා - නියමෙට ගස් එහෙම හදලා තියෙනවා මේ ඉවුරේ. වතුර අඩුතැනක් දැක්කා යාන්තම් වේලුන ගහක් එක්ක; ගඟයි ගහයි දෙකම අහේනියෙන් පෙලෙනවා වගේ! වතුර කොච්චර අඩුද කියලා ජැටියේ බෑවුමෙන් කියන්න පුළුවන්.




ඉස්සර දවස්වල වගේ නෙවෙයි උස, තට්ටු ගානක ගොඩනැගිලිත් දැන් දිගටම තියෙනවා. London Eye කියන ප්‍රසිද්ද කතුරු ඔන්චිල්ලාවත් ඈත පෙනෙනවා (මේක තියෙන්නේ නගරේ මැද - පාර්ලිමේන්තුවට එහා ගඟේ අනික් පැත්තේ). ඒ කියන්නේ අපි ගමනේ අවසානෙට කිට්ටුයි වගේ!



බෞද්ධ පැගොඩාවක් තියෙනවා ගඟ අයිනෙම.


ඒකටවත් වැඳලා බලන්න ඕනෑ ගමන කෙලවර කරගන්නෙ පුළුවන්ද කියලා!

අපි හිතාගෙන ඉන්නේ වැඩේ හෙටින් ඉවරකරන්න - ආයෙ කි. මී. 22ක් විතරයි.

ජයවේවා!


Tuesday, 25 September 2018

දවස 20

රිච්මන්ඩ් ඉඳන් කියු උද්‍යානය  (Kew Gardens) අතරේ දුර ක. මී. හතකට අඩුයි - කෙටි දවසක්. නමුත් උද්‍යානේ ඇවිදපුවත් එක්ක ක්. මී. 13ක්ට ටිකක් වැඩියි. ඒ කියන්නේ, පාරේ බලන්න දෙයක් නෑ - පිටත්වුන තැනයි පැමිණෙන තැනෙයි බලන්න දේ.

රිච්මන්ඩ් ටවුම කන්ද උඩ, අපෙ Rose of York හෝටලේ කන්ද පාමුල වුනාට. ඊයේ හවස ඒ පොඩි කන්ද උඩට ගිහින් බැලුවා - මාරෙට ගඟයි මිටියාවතයි පේනවා. මේ හිටපු තැනයි අවට පරිසරයයි.





රිච්මන්ඩ් වලම පරන මාළිගාවකුත් තියෙනවා - නටබුන්. හෙන්රි 7, 8 සහ එලිසබත් 1 ඒකේ හිටියළු. දැන් ගේට්ටුව විතරයි අපිට බලන්න පුළුවන්.


ඇවිදපු පාරේ එනකොට දැක්කේ වතුර අඩු බව - බාදිය වෙලාව. කියු පාලමත් පේනවා.


කියු එනකොට තවම ඉර හැරිලත් නෑ. නවතින හෝටලේට යන්න කලින් වැඩියි. කරේ ගෙනාපු මලු එතන තියලා අපි උද්‍යානේ බලන්න ගියා, එලිසබත් ගේටුවෙන්.


ඉස්සරවෙලාම ගියේ ඒක ඇතුලේ තියෙන ජෝජ් 3ගෙ මාළිගාවට. පිස්සු හැදිලා හිටිපු මිනිහට පරන කාලේ බෙහෙත්ලු දුන්නේ - කූඩැල්ලෝ දාලා ලේ අදිනවා වගේ (පුදුමයක් නෙවෙයි මැරුන එක)


අක්කර 300යක කියුඋද්‍යානේ පටනගෙන තියෙන්නේ 1759. ලෝකේ බොහෝ තැන්වලින් ගෙනා පැලෑටි වර්ග 30,000කට වැඩිය තියෙනවා. මේවා ගැන දන්න කෙනෙකුට නම් දවස් ගානක් මේකේ බලන්න දේ තියෙනවා - අපි පැය තුනක් විතර ඇවිද්දා. පින්තූර ගන්නවා කියන එක බොහොම අමාරුයි - 100ක් ගන්නවද 1000ක් ගනවද කියලා.

වඩාම ප්‍රසිද්ද වීදුරු ගෙට අපි ගියා - සාමාන්යෙන් සමශීතොෂ්න කලාපවල පැලෑටි එතන.



තාල වර්ගයේ ගස් වලට වෙනම ගොඩනෙගිල්ලක් - ඒක ඉස්සර වැවකුත් මල්පාත්තිත් ලස්සනයි.


වේල්ස් කුමරියගේ ගොඩනැගිල්ලේ තිබුනා නෙලුම් වැනි දෑ වගේම අමසෝනියන් වෝටර් ලිලි කියලා මාර එකක්.


මේ සේරටම වැඩිය මට ඇල්ලුවේ සාමාන්‍ය ගස්.





විශේෂ ගස් එහෙමත් තිබුනා. මේ ජපන් පගෝදිය ගහ මෙහෙ හදලා තියෙන්නේ 1760 විතර.


අවුරුදු මිලියන 200ක් පරන ගස් වර්ගයක් (ගිංකෝ) තවම හැදෙනවා.


මට හිතට අල්ලපු තව ගහක් තමයි වොලමයි පයින් - මේ ගස්වර්ගය ලෝකයෙන් තුරන්වී කියලයි හිතාගෙන හිටියේ. නමුත් 1994දී ඔස්ට්‍රේලියාවේ හමුවෙලා ආයෙත් දැන් වවනවා.


මං කිව්වා වගේ, මේක පයින් යනවට සම්බන්ද නොවුනත් කියු උද්‍යානේ අමතක වෙන්නෙ නෑ ලේසියට!

ජයවේවා!

Monday, 24 September 2018

දවස 19

ඊයේ උදේ වගේ නෙවෙයි අද උදේ අහස නිල්ම නිල් - සීතලයි. ඊයේ විවේක සුවෙන් ඉඳලා ආයෙත් පාරට බහින්න වෙලාව. පිටත්වුනේ 9.15ට. අපි රෑ හිටපු ගෙදරයි, හැම්ටන් කෝට්  මාළිගාව ඉස්සරහ පබ් එකෙයි පින්තූර ගත්තා (ඊයේ එතනින් බීර වීදුරුවක් බීපු නිසා)




වෙනදා වගේම පාරයි ගඟයි වෙනස්වෙනවා. හරක් හෙම ඉන්න තණභූමි ආයෙ නෑ. ඒ වෙනුවට වටිනා (මට හිතෙන විදිහට) ගෙවල් තියෙනවා


පාර වටේ ගස් ටික ටික වෙනස්. ඉස්සර නොදැකපු තරම් ඉතා නාකි විලෝ ගස් තියෙනවා - ඒ වගේම කැලෑ රොදවලුත් තියෙනවා. සමහර ඒවා පාර ලස්සන කරන්න හදපුවා - අනික් ඒවා 'නොමිලේ' හැදිලා.




ගඟේ ඉන්න හන්සයන්ගෙ එක පින්තූරයක් හරි ගන්න ඕන - මෙන්න.


ටෙඩින්ටන් ලොක් (බෝට්ටු ඉනිමග) තමා තෙම්ස් ගඟේ තියෙන ලොකුම එක. බෝට්ටු කීයක් එක සැරේට යන්න පුළුවන්ද දන්නෙ නෑ නමුත් අනික් ඒවට වැඩිය ගොඩාක් දිගයි.



ඇවිදින්නෝ, දුවන්නෝ, බයිසිකල් පදින්නෝ, ප්‍රෑම් තල්ලු කරන්නෝ, බල්ලෝ එක්ක යන්නෝ - දැන් හරියට වැඩී (පින්තූර ගත්තෙ නැතුවට). එක ගත්ත පින්තූරයක් තමා වයසක මිනිහෙකුයි ගෑනු දෙන්නෙකුයි බෝට්ටු පදින්න ඉගෙනගන්නවා! නියමයි.


අද නවතින රිච්මන්ඩ් නගරෙට එනකොට දවල් දෙක වෙලත් නෑ. ඇවිදලා තිබුනේ කි. මී. 13.97යි. අපි නැවතින හෝටලේ මේ පින්තුරේ පහලින්ම තියෙන්නේ (York Rose කියලා)


දැන් ගමනේ අන්තිම ඉවෙන් වගේ දැනෙනවා - ආයෙ දවස් හතරයි! කකුල් කඩාගත්තෙ නැත්තම් පටන්ගත්ත වැඩේ ඉවර කරන්න පුළුවන් වගේ!

ජයවේවා!